Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

නිකසළ දුම්රිය මාර්ගයක් නිර්මාණය කරමු

සුරකිමු දුම්රිය ව්‍යාපාරය හා සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයේ සහයෝගයෙන් “නිකසළ දුම්රිය මාර්ගයක්” යන සංකල්පය යටතේ රඹුක්කන සහ කඩිගමුව දුම්රිය මාර්ගයේ නොදිරන කසළ ඉවත් කිරීමේ ශ්‍රමදානයක් පසුගිය 24 වන පොහොය දිනයේදී සාර්ථකව පවත්වන ලදි. මෙහිදී එම දුම්රිය ස්ථාන අතර කිලෝමීටර් 05කට ආසන්න ප්‍රදේශයක දුම්රිය මගීන් විසින් දුම්රිය මාර්ගය වෙත නොසැලකිලිමත් ලෙස බැහැර කරන ලද නොදිරන සුළු පොලිතීන් අපද්‍රව්‍යයන්ගෙන් යුත් මළු 100කට වඩා අධික ප්‍රමාණයක් එකතු කරන ලදි.
මේ හේතුවෙන් දුම්රිය ආශ්‍රිත පරිසරය රැක ගැනීමේ කාලීන වැදගත්කම වඩාත් අවධාරණය කරන එම සංවිධානයන් එම තත්වය පාලනය කිරීම සඳහා දුම්රිය මගී ජනතාවගේ නිසි සැලකිලිමත්භාවය හා අවධානයේ අවශ්‍යතාවය පෙන්වා දේ.
එහිලා එවැනි අපද්‍රව්‍ය භාවිතය අවම කිරීම, ප්ලාස්ටික් ජල බෝතල් වෙනුවට නැවත නැවතත් භාවිත කළ හැකි ජල බෝතල් භාවිතය වෙත යොමු වීම, දුම්රිය ගමනාගමනය අතරතුර එකතු වන කැළිකසළ දුම්රිය මගට බැහැර කිරීමෙන් වැලකී, ගමනාන්තයේදී ලඟා වන දුම්රිය ස්ථානය තුල නිසි ලෙස වර්ග කොට තබා ඇති කසළ බඳුන් තුලට බැහැර කිරීම සිදු කළ හැකි බව පෙන්වා දේ.

මෙම අවස්ථාවට නාවලපිටිය ප්‍රවාහන අධිකාරී පී. ඒ. එස්. වර්ණසූරිය මහතා, සහකාර ප්‍රවාහන අධිකාරී ආනන්ද කරුණාරත්න මහතා හා දිස්ත්‍රීක් ප්‍රවාහන පරීක්ෂක නේලක ලයනල්සිංහ යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් සිදු කරන ලදි.

මෙම සංකල්පයේ ඊළඟ ශ්‍රමදාන ක්‍රියාදාමය මේ මස 30 වන දින ගම්පහ දුම්රිය ස්ථානයේදී පැවැත්වීමට එම සංවිධාන සැලසුම් සකස් කොට ඇත.