දුම්රිය සේවයට එක්වෙන නව සාමාජිකයා – S13 නවීනතම දුම්රිය
ශ්‍රී ලංකා දුම්රිය ඉතිහාසය නව මානයකට ගෙන යමින් එහි බල ඇණිය වෙත පසුගිය වසරේ දෙසැම්බර් මස ඉන්දියාවෙන් ආනයනය කොට එක් කළ S -13 වර්ගයේ සුඛෝපභෝගී දුම්රිය බලවේග කට්ටලය පසුගිය ජනවාරි 14 දින උදෑසන 7.30 ට පමණ මරදාන සිට කන්කසන්තුරේ දක්වා සාර්ථක පරීක්ෂණ ධාවනයක නිරත විය.
එම අවස්ථාව සඳහා එකී දුම්රිය නිෂ්පාදනය සිදුකළ ඉන්දීය තාක්ෂණික නිලධාරීන්, දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන් හා මාධ්‍යවේදීන් එක් විය.
එම වර්ගයේ දුම්රිය බලවේග කට්ටල 12ක් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මිලට ගැනීමට නියමිත අතර, ඒවා ද්විත්ව බලවේග කට්ටල ලෙසින් ධාවනයට එක් කිරීමට නියමිත වේ.
මගී ජනතාවගේ දුම්රිය ගමනාගමනයට නව මුහුණුවරක් ගෙන දෙමින් එක්වන මෙම දුම්රිය මනා පහසුකම් රැසකින් සමන්විත වේ.
මෙම දුම්රිය වායුසමීකරණය කළ පළමු පන්තියේ සුඛෝපභෝගී මැදිරි, දෙවන සහ තෙවැනි පන්තියේ මැදිරි වලින් සමන්විත වේ.
සෑම පන්තියකම ආසන ඉතා සුව පහසු ලෙස නිමවා ඇති අතර පළමු පන්තියේ මැදිරිය වෙත ප්‍රවේශය සදහා වන දොරටුව සංවේදක මගින් ස්වයංක්‍රීයව විවෘත වන සේ නිමවා ඇත.
තවද පළමු පන්තියේ මැදිරි තුල ඇති ආසන අවස්ථානුකූලව අවශ්‍ය ආකාරයට දිශාව වෙනස් කළ හැකි ආකාරයෙන් නිපදවා ඇත. එම ආසන තුල සිටම ගමන් ගන්නා මගීන්ගේ ජංගම දුරකථන ආරෝපණය කළ හැකි යූ. එස්. බී. කෙවෙණි සවි කර තිබීම ද විශේෂත්වයකි.
සියළුම මැදිරි තුල සවි කොට ඇති දර්ශණ තිර ඔස්සේ දුම්රිය ගමනාන්තයන් පිළිබදව, වේලාව, වත්මන් දුම්රිය ස්ථානය සහ මීළග නැවතුම පිළිබදව මෙන්ම අවවාදාත්මක දැනුවත් කිරීම් ද ජී. පී. එස්. (GSP) තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන විශේෂ ඇමතුම් සේවාවක් ඔස්සේ ස්වයංක්‍රීය කටහඩක් ආධාරයෙන් මගී ජනතාව වෙත ඊළග නැවතුම භාෂා ත්‍රිත්වයෙන්ම දැනුම් දීමේ සේවාවකින් සමන්විත වීම විශේෂ ලක්ෂණයකි.
ඊට අමතරව පළමු පන්තියේ මැදිරි තුල දුම්රිය ගමනාගමනය තුල දී එල්. ඊ. ඩී. (LED ) තිර ඔස්සේ රූපමය දර්ශණ නැරඹීමේ පහසුකම් ද එක් එක් ආසනය තුල සවි කොට ඇති හෙඩ් ෆෝනය මාර්ගයෙන් අදාල ශබ්ද පාලනයකින් යුතුව ශ්‍රවණය කිරීමේ පහසුකම් ද සලසා තිබීම නව්‍ය අත්දැකීමක් වනු ඇත.
ශ්‍රී ලංකා දුම්රිය මාර්ග තුල පැයකට කි.මී.120 ක උපරිම වේග පිරිවිතරයකින් යුතුව ධාවනය කළ හැකි අතර එන්ජිමක් අශ්ව බල 1,800 කින් යුතුව නිපදවා ඇත.
මෙහි ඇති විශේෂ එයාර් සස්පෙන්ෂන් අවලම්බක පද්ධතිය හේතුවෙන් ගැස්සීම් අවම කරමින් වඩාත් සුව පහසු ආකාරයෙන් ගමන් කිරීමේ හැකියාව ලැබී ඇත.
මෙම දුම්රියේ මෙම මස 27 වන දින යාපනය හා කන්කසන්තුරය දක්වා මුල් වරට මගී ධාවනයට එක්වීමට නියමිත අතර එය නිසි පරිදි භාවිතා කිරීම මගී ජනතාව වන අපගේ ජාතික යුතුකමක් බව සිහි තබා ගත යුතු වේ.
– ලිපිය : දුලිප් වික්‍රමසිංහ / ලහිරු තේනුවර
– චායාරූප : සසිත් සෙනවිරත්න (RDMNS මාධ්‍ය ඒකකය)
2019-01-20