මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය මාර්තු 31 ජනතා අයිතියට
මාර්තු මස 31 ජනතා අයිතියට පත්වන මෙම බහුමාදිලි ප්‍රවාහන මධ්‍යස්ථානය (Multi Mode Transportation Hub) ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව නිර්මාණය කර ඇති අතර වාහන නැවැත්වීමේ පහසුකම් සහ බස් රථ හා දුම්රිය වැනි අනෙකුත් ප්‍රවාහන සේවා එකම ස්ථානයකින් ලබා ගත හැකි වීම විශේෂත්වයකි.
මේ සමගම කැළණිවැළි දුම්රිය මාර්ගයේ මාලපල්ල උප දුම්රිය ස්ථානයට යාබදව අළුතෙන් ඉදි කළ මාකුඹුර දුම්රිය ස්ථානය ද මෙදින විවෘත කරනු ලැබේ.
ඒ සමගම එතෙක් ක්‍රියාත්මක වූ මාලපල්ල (MPL) උප දුම්රිය ස්ථානය අප්‍රේල් මස 01 වන දින සිට වසා දමනු ලැබේ.
තවද මාර්තු මස 31 වන දා සිට කැළණිවැළි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව හා හෝමාගම අතර නව දුම්රියක් ඇරඹීම ට නියමිතව ඇත.
දිනපතා ධාවනය වන එම දුම්රියෙහි කාලසටහන පහත පරිදි වේ.
කොළඹ කොටුවෙන් පිටත් වීම – පෙ.ව. 10.30
හෝමාගමට ළඟා වීම – පෙ.ව. 11.35
හෝමාගමින් පිටත් වීම – ප.ව. 12.30
කොළඹ කොටුවට ළඟා වීම – ප.ව. 01.38
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර හා ගාල්ල සිට පැමිණෙන බස් රථ කොට්ටාව පිවිසුමෙන් පිටත් වීමෙන් පසු නවත්වනු ලබන්නේ ද එමෙන් ම ඉදිරියේ දී අධිවේගී මාර්ගයේ ගාල්ල, මාතර හා කඩවත දක්වා ධාවනය වන බස් රථ ආරම්භ කරනු ලබන මගී පර්යන්තයක් වශයෙන් ද මාකුඹුර බස් පර්යන්තය ක්‍රියාත්මක වේ.
එම මගී බස් පර්යන්තයේ අනික් කෙළවර මාකුඹුර දුම්රිය ස්ථානය පිහිටා ඇත. කැළණිවැළි මාර්ගයේ යෝජිත නවීකරණයත් සමගම එම මගී පර්යන්තය වෙතට පිවිසෙන බස් රථ වල එන මගීන් කණු මතින් දිවෙන සැහැල්ලු දුම්රිය සේවාව හා ඒකාබද්ධ කොට කොළඹ කොටුව දක්වා ගමන් කරවීමේ කඩිනම් ප්‍රවාහන සේවාවක් සැපයීම මින් අරමුණු කෙරේ.
දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹ දෙසට පැමිණෙන වාහන මෙම මධ්‍යස්ථානයේ නවතා දුම්රිය හෝ බස්රිය භාවිතා කරමින් තම ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගැනීමට ජනතාවට හැකිය.
LED පුවරු මගින් නිරන්තරයෙන් ජනතාව දැනුවත් කිරීම,
ජී.පී.එස් (GPS) මගින් මගීන්ට අවශ්‍ය දුම්රිය හෝ බස්රිය එම මොහොතේ ඇති ස්ථානය දැනගැනීමට හැකිවීම,
අන්තර්ජාලය මගින් ප්‍රවේශ පත් වෙන්කිරීමට හැකිවීම,
දුම්රියේ හා බස්රියේ එකම ප්‍රවේශ පත්‍රයකින් ගමන් කළ හැකිවීම,
ස්වයං ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමේ පහසුව,
විවේකාගාර හා සනීපාරක්ෂක පහසුකම්,
බැංකු පහසුකම්, ආපන ශාලා හා ජනතාවට අවශ්‍ය බිල්පත් ගෙවීමේ මධ්‍යස්ථාන
ආදී පහසුකම් රැසක් මෙම බහුමාදිලි ප්‍රවාහන මධ්‍යස්ථානය මගින් ලබා ගත හැක.
විධිමත් නඩත්තුවක් හා කළමනාකරණ ක්‍රියාවලියකින් මෙය සමන්විත වේ. මධ්‍යස්ථානයේ වහලය මත ස්ථාපිත සූර්යකෝෂ මගින් කිලෝ වොට් 180ක විදුලිය උත්පාදනය වන අතර මධ්‍යස්ථානයේ සියලුම බලශක්ති අවශ්‍යතා එමගින් සපුරා ගැනේ.