මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගය ජනතා අයිතියට
ශ්‍රී ලාංකීය ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක් කරමින් අභිනවයෙන් ඉදි කළ මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගය ජනතා අයිතියට පත් කිරීම 2019 අප්‍රේල් මස 08 වැනි සඳුදා දින සිදු කෙරේ. “දකුණු ලකට අලුත් මගක්” යන තේමාව යටතේ එහි ජාතික මහෝත්සවය 08 වැනි දින උදෑසන පැවැත්වේ. උදෑසන නවයට යෙදෙන සුබ මොහොතින් මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ මංගල දුම්රිය ධාවනය මාතර දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරයි. එම දුම්රිය බෙලිඅත්ත දුම්රිය ස්ථානය වෙත ළඟා වීමෙන් පසුව ජාතික මහෝත්සවය පෙරවරු 10.30ට බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ එළිමහන් පරිශ්‍රයේ පැවැත්වේ.
අභිනවයෙන් විවෘත කෙරෙන මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන දුම්රිය අතරින් එක් දුම්රියක් ගාල්ල දක්වා ද දුම්රිය 3ක් මරදාන දක්වාද ගමන් කරයි. යාපනය සහ වව්නියාව දක්වා සෙසු දුම්රිය දෙක ධාවනය කෙරේ. බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් ගමන් අවසාන කරන දුම්රිය ගණන 6කි. එයින් හතරකම ගමනාරම්භය වන්නේ මරදානයි. එක් දුම්රියක් වව්නියාව සිටත් අනික් දුම්රිය යාපනය සිටත් ආරම්භ වේ.
මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ නැවතුම් ස්ථාන 6කි.
පිළිවෙළින් මාතර, පිලදූව, වෙහෙරහේන, කැකණදුර, බඹරැන්ද, වැවුරුකන්නල සහ බෙලිඅත්ත වේ.
මෙයින් උප දුම්රිය ස්ථාන වන්නේ පිලදූව සහ වෙහෙරහේන වේ. සෙසු දුම්රිය ස්ථාන ප්‍රධාන දුම්රිය ස්ථානයි.
ලංකාවේ දිගම දුම්රිය පාලම වන වටගම පාලම මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ දී හමුවනවා. එහි දිග මීටර 1500ක්. එමෙන්ම දෙවන ස්ථානයට දිගින් වැඩිම දුම්රිය පාලම ද මෙම දුම්රිය මාර්ගයේ දී හමුවීම විශේෂත්වයක්. නිල්වලා ගඟ හරහා ඉදිකර ඇති එහි දිග මීටර 1400ක්. පොළව මට්ටමේ සිට වැඩිම උසකින් පිහිටා ඇති දුම්රිය පාලම ද මෙම දුම්රිය මාර්ගයේ වෙහෙරගොඩ ප්‍රදේශයේ දී දැකගත හැකියි. එය අඩි 61ක උසකින් යුක්තයි.
කැකණදුර දුම්රිය ස්ථානයට යාබදව පිහිටා ඇති දුම්රිය උමග මෙරට දිගින් වැඩිම දුම්රිය උමග බවට පත්වනවා. එය අඩි දෙදහස් දාහතක දිගකින් යුක්තයි. එපමණක් නොව ලංකාවේ දිගම දුම්රිය වේදිකාව බවට පත්වන්නේ බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ දුම්රිය වේදිකාවයි. මේ සියලු දේ සමග දුම්රිය ඉතිහාසයේ නව කඩඉමක් බවට පත්වෙමින් මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගය හෙට දිනයේ දී දුම්රිය ගමනාගමනය සදහා විවෘත කෙරෙනු ඇති.
මෙම දුම්රිය මාර්ගයේ බෙලිඅත්තේ සිට මාතර දක්වා දෙවැනි පන්තියේ ගාස්තුව රුපියල් 70කි. තුන්වැනි පන්තිය සඳහා රු.35කි. කොළඹ කොටුව සිට ප්‍රවේශපත් මිල ගණන් දැනගැනීම සඳහා RDMNS ජංගම දුරකථන මෘදුකාංගයේ ප්‍රවේශපත් මිල ගණන් මෙනුවෙන් ලබාගත හැක.