Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News
???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!   ► ???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය   ► ???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය   ► ???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!   ► ???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය   ► ???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!   ► බන්ඩිරිප්පුව ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව   ► ???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා  

ශ්‍රී ලංකාවේ දුම්රිය සංවර්ධනයට රුපියල් මිලියන 28 980ක්

මෙරට දුම්රිය සේවාවේ යෝධ සංවර්ධනයකට මුල පුරමින් ඉතිහාසයේ ප්‍රථම වතාවට ආසියානු සංවර්ධන බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 161ක් ලබා දෙයි. ශ්‍රී ලංකා මුදලින් එය රුපියල් මිලියන 28 980කි. එම මුදලින් අමෙරිකානු ඩොලර් මිලියනක් ආපසු නොගෙවන ප්‍රදානයක් වේ. ඉතිරි අමෙරිකානු ඩොලර් මිලියන 160 වසර අටක ණය ආපසු ගෙවීමේ සහන සීමාවක් සමඟ සියයට 0.5 (+ LIBOR) ක පොලියකට ලබා දෙයි. මෙම සමස්ත මුදල ලබා ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශය සහ ආසියානු සංවර්ධන බැංකුව අතර ගිවිසුම් අත්සන් තැබීම අගෝස්තු 20 පෙරවරුවේ සිදු කෙරන බවද ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

දිනෙන් දින ඉහළ යන මාර්ග තදබදයට විසඳුමක් ලෙස දුම්රිය ප්‍රවාහන සේවාව බහුතරයක් මගී ජනතාවගේ ප්‍රවාහන පහසුකමක් ලෙස යොදවා ගැනීමට නවීන තාක්ෂණයෙන් හෙබි ජාත්‍යන්තර මට්ටමකට පත්කිරීමේ ප්‍රථම අදියර යටතේ කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය ඇරඹු බවද ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා ඇමැති අර්ජුන රණතුංග මහතා පැවැසීය.

මෙම දැවැන්ත ව්‍යාපෘතියේ සෑම උප ව්‍යාපෘතියක් හරහාම මගී ජනතාවට පහසුකම් ලබාදෙනවා සේම දුම්රිය සේවාවට ආදායමක් ලැබෙන බව පෙන්වා දුන් ඇමැතිවරයා පුංචි කෝච්චියේ ගමන් කරන කැලණිවැලි මිටියාවතේ ජනතාවට නුදුරේදීම විදුලිය දුම්රියෙන් ගමන් කිරීමට හැකියාව ලැබෙන බව කීය.

දුම්රිය මාර්ග නඩත්තුව සඳහා පවතින කම්කරු හිඟය පිළිබඳව ඊයේ (19) උදේ අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළ බව අනාවරණය කළ ඇමැතිවරයා දුම්රිය මාර්ග දෙපස දිවිගෙවන්නන්ගේ සුරක්ෂිතතාව උදෙසා නිවාස සංකීර්ණ ඉදිකරන බවත් අවධාරණය කළේය. නිවාස සංවර්ධන අධිකාරියෙන් මුදල් ගෙවා නිවාස එක්දහස් දෙසිය හතළිස් දෙකක් මිලදී ගැනීමත් මාලපල්ල දුම්රිය ස්ථානය අසල නිවාස ඒකක එකසිය අටක තට්ටු සංකීර්ණයක් ඉදිවන බවත් සඳහන් කළේය. ඇල්ල සහ යාපනය දක්වා දුම්රියෙන් ගමන් කරන විදේශ සංචාරකයින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

ඇමැති අර්ජුන රණතුංග මහතා මෙසේ අදහස් දැක්වූයේ ඊයේ (19) අරලියගහ මන්දිරයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීය. මෙහිදි ඇමැතිවරයාගේ ආරාධනයෙන් ව්‍යාපෘති අධ්‍යක්ෂක පාලිත සමරසිංහ මහතා මෙසේ අදහස් දැක්විය.

මෙම උප ව්‍යාපෘති යටතේ මගීන්ට තමන් සිටින ස්ථානයේ සිටම ප්‍රවේශ පත්‍ර ලබාගැනීමේ තාක්ෂණය ඇති කරනවා. ක්‍රම තුනක් යටතේ මුදල් ගෙවීමට හැකිවෙනවා. දීප ව්‍යාප්ත දුම්රිය විදුලි සංදේශ පද්ධතිය තාක්ෂණයෙන් ඉහළ මට්ටමකට ගෙන එනවා. එමගින් කාර්යක්ෂම ‍ෙස්වාවක් ලබාදෙනවා. දුම්රිය ප්‍රමාදය වැළැක්වීමට, ආරක්ෂාව ඉහළ මට්ටමකට ගෙන එමින් අනතුරු අවම කර ගැනීම එමගින් සිදුවෙනවා. දුම්රිය පාලන මධ්‍යස්ථාන තුනකින් හෙබි මහල් දහහතරක ගොඩනැගිල්ලක් මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට ගොඩනැංවීමට ඉදිකිරීම් ටෙන්ඩර් කැඳවා තිබෙනවා.

නව පුහුණු පාඨමාලා, තාක්ෂණය, පර්යේෂණ භාර කර්මාන්ත ශාලා අඩංගු තාක්ෂණයෙන් පෝෂිත දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට තව දෙමාසයකින් ටෙන්ඩර් කැඳවනවා.

දුම්රිය එන්ජින්වල නඩත්තුව සහ අලුත්වැඩියාවට අවශ්‍ය යන්ත්‍ර රත්මලාන දුම්රිය යාන්ත්‍රික ඉංජිනේරු උප දෙපාර්තමේන්තුවට මිලදී ගැනීමට ටෙන්ඩර් කැඳවා තිබෙනවා.

මහනුවර තදාසන්න දුම්රිය ව්‍යාපෘතියක් ඇරඹීම මහනුවර සහ ඒ අවට ජනතාවට අද්විතීය ප්‍රයෝජනයක් ලැබෙනවා. රඹුක්කන, කඩුගන්නාව අතර වැඩිම දුම්රිය ප්‍රමාණයක් ධාවනය, කඩුගන්නාව කටුගස්තොට අතරේ විදුලිය දුම්රිය ධාවනයට ද්විත්ව මාර්ගයක් ඉදිවෙනවා. කටුගස්තොට මාතලේ අතර කොට්ඨාසය තනි මාර්ගයක් ලෙස ඉහළ ප්‍රමිතියකින් සංවර්ධනය කරනවා. පේරාදෙණිය ගම්පළ අවශ්‍යතාව මත ද්විත්ව මාර්ගයක් ඉදිවෙනවා.

මාලිගාවත්ත යටිබිම් මාර්ගයේ ඇති පාසල් පටුමග දුම්රිය පාලම නැවත ඉදිකරනවා. මෙය වසර සීයක් පැරණිය. අබලන්ව පැවැති කැලණි වැලි දුම්රිය මාර්ගය සංවර්ධන ව්‍යාපෘතිය (KV Rail) ඉදිකිරීම් හතරකින් සිදුකිරීමට සැලසුම් කර තිබෙනවා. ඉදිරි ප්‍රවාහන අවශ්‍යතා සඳහා කාර්ය බහුල වේලාවන්හිදී සෑම විනාඩි හතකට වරක් දුම්රිය ගමන් වාරයක් ධාවනයේ යොදවනවා.

කැලණිවැලි දුම්රිය මාර්ගය නවීකරණය කොට ඉදිකිරීම තුළින් කැලණි මිටියාවතින් කොළඹට ඇතුල් වන ජනතාවටත් දකුණු අධිවේගී මාර්ග ඔස්සේ කොළඹට පැමිණෙන ජනතාවටත් බස් රථ හෝ පෞද්ගලික වාහන කොළඹ නගරයට ඇතුල් නොකර බහු ප්‍රවාහන මධ්‍යස්ථාන ලෙස වැඩි දියුණු කරනු ලබන දුම්රිය ස්ථාන ආශ්‍රිතව ගාල් කිරීමට පුළුවන. ඉන්පසු දුම්රියෙන් සුව පහසුව කොළඹ නගරයට ඇතුල්වීමට හැකියාව ලැබෙයි. තවද මෙම නව දුම්රිය මාර්ගය පාදුක්ක හා මීපේ ආශ්‍රිතව ඉදිකෙරෙන අනාගත තාක්ෂණ නගරය අග නගරය හා යා කෙරෙන ප්‍රධානතම පොදු ප්‍රවාහන සේවය ලෙස පත්වෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා අදහස් දක්වමින්,

කොළඹ කුණුකසළවලට පිළියමක් ලෙස ලබන සෙනසුරාදා කුණුකසළ අඩංගු ලොරි දෙකක් දුම්රිය ගැල් මගින් පෙරියගාතවිල්ලුව දුම්රිය ස්ථානයට රැගෙන යනවා. එතැන් සිට එම ලොරි අරුවක්කාරු වෙත ගමන් කරනවා. පෙරියනාතවිල්ලුව එම පළාතේ අවසන් දුම්රිය ස්ථානයයි. මෙය සිදුකරන්නේ එසේ කළ හැකි දැයි අත්හදා බැලීමක් සිදුකිරීමටයි. එය සාර්ථක වුවහොත් එම ක්‍රමය ක්‍රියාවට නැංවීමට පුළුවනි. ඉන්දියානු ණය ආධාර යටතේ ඕමන්තේ දක්වා දුම්රිය මාර්ගයක් සැකසෙනවා. එවිට කොළඹ සිට යාපනයට පැය පහක් තුලදී යාමට හැකිවෙනවා. චීන බලවේග කට්ටල් නවයක් ලැබෙනවා. ඒවා උඩරට මාර්ගවලට යොදවනවා. දැනටමත් තවත් බලවේග කට්ටල් පහක් ලැබී තිබෙනවා. බ්‍රසීල ණය ආධාර යටතේ දුම්රිය ඇන්ජින් දොළහක් ලැබෙනවා. තවත් දුම්රිය මැදිරි හැත්තෑ පහක් මිලදී ගන්නවා. ප්‍රීමා සමාගම හා එක්වී ත්‍රිකුණාමලය සීදුව හරහා භාණ්ඩ ප්‍රවාහනය සිදුකරනවා.

පවතින ආණ්ඩුව දුම්රිය සේවයේ උන්නතියට ඉහළම වැඩ කොටසක් ඉටුකළා. මේතාක් කාර්යභාරයක් දුම්රිය සේවයේ උන්නතියට සිදුවී නෑ.

අමාත්‍යාංශයේ ලේකම් එල්. ඩී. ජයම්පති, අග්‍රාමාත්‍ය කාර්යාලයේ සංවර්ධන සන්නිවේදන අංශයේ ප්‍රධානී නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහත්වරු මෙම අවස්ථාවට එක්වූහ.

කමනි අල්විස් සහ නිමල් රාජපක්ෂ
ඡායාරූපය – විපුල අමරසිංහ
උපුටා ගැනීම – දිනමිණ වෙබ් අඩවිය